Tamil-Sri LankaEnglish (United Kingdom)

ආනයන පිරික්සුම

හැඳින්වීම

ආනයන පිරික්සුම් වැඩසටහනේ අරමුණ වන්නේ අදාල ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර (SLS) වලට අනුව නිෂ්පාදන සමීප ලෙස නිරීක්ෂණයට හා පිරික්සුමට ලක් කෙරෙන බව සහතික කිරීම හා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට නිර්දේශ ලබා දීම වේ. මෙම වැඩසටහන 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ 2006.06.01 දින නිකුත් කරන ලද 1447/28 ගැසට් නිවේදනය මත පදනම්ව ඇත. ආනයනය සඳහා නිශ්චය කරන ලද භාණ්ඩ තොගවල අනුකූලතාව පහත සඳහන් නිර්ණායක මත පදනම් වේ.

(අ) අපනයනය කරන රටින් තොගය සමඟ ලබා දෙන අනුකූලතා සහතික / ය වල පිළිගත හැකි බව

(ආ) අපනයනය කරන රටේ ජාතික ප්‍රමිති ආයතනය හෝ අනෙක් රටේ ජාතික ප්‍රමිති ආයතනය විසින් නිකුත් කරන ලද නිෂ්පාදන සහතික කිරීමේ සලකුණෙහි පිළිගත හැකි බව

(ඇ) අපනයන කරන රටේ නිෂ්පාදකයාගේ විශ්වසනීය බව හා එම නිෂ්පාදකයා සම්බන්ධ අතීත අත්දැකීම්

1. අනුමැතිය ලබාගැනීමේ ක්‍රියාපටිපාටිය

1.1 IIS  වැඩසටහන යටතේ ආවරණය වන භාණ්ඩ වලින් කවර ‍හෝ එකක් ආනයනය කිරීමට බලාපොරොත්තු වන ආනයනකරුවෙකු පහත දී ඇති අදාල අවශ්‍යතා පිළිබඳව මනා ලෙස දැනුවත්ව සිටිය යුතුය.

1.1.1නිශ්චය කරන ලද භාණ්ඩ වල ආනයනය කරන ලද තොග පහත සඳහන් පරිදි පුළුල් වර්ගීකරණයකට ලක් කරනු ලැබේ.

1 වැනි කාණ්ඩය: විදේශීය රසායනාගාරයකින් හෝ පිරික්සුම් නියෝජිත ආයතනයකින් ශ්‍රී.ලං.ප්‍ර.ආ. සමග ලියාපදිංචි වී ඇති වෙනත් කවර හෝ රජයේ ආයතනයකින්  නිකුත් කරන ලද පිළිගත හැකි අනුකූලතා සහතිකයක් සමග පැමිණි තොග

ආනයනකරුට ප්‍රතිලාභ:ඉදිරිපත් කර ඇති අනුකූලතා සහතිකය (CC)  එම තොගය සඳහා පිළිගත හැකි නම්, නියැදීමෙන් තොරව එම තොගය අලෙවිය හෝ භාවිතය සඳහා අනුමැතිය ලබා දෙනු ලැබේ.

තොග තුනකට එක් වරක් වශයෙන් පිරික්සුම සඳහා නියැදිය අහඹු ලෙස ලබාගැනෙන අතර නියැදීමෙන් අනතුරුව තොගයට අනුමැතිය ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත්, නිෂ්පාදකයාගේ, රසායනාගාරයේ හා ආනයනකරුගේ පෙර කාර්යසාධනය මත පදනම්ව, ශ්‍රී.ලං.ප්‍ර.ආ. නියැදීම් කළ යුතු වාර ගණන තීරණය කරනු ඇත.

2 වැනි කාණ්ඩය :අපනයන කරන රටේ ජාතික ප්‍රමිති  ආයතනය මගින් ලබා දෙන ලද අනුකූලතා සහතිකයක් සමග පැමිණෙන තොග අදාළ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර වලට අනුව අනුකූලතා සහතිකය නිකුත් කෙරේ.

ආනයනකරුට ප්‍රතිලාභ:ඉදිරිපත් කර ඇති අනුකූලතා සහතිකය (CC)එම තොගය සඳහා පිළිගත හැකි නම්, නියැදීමෙන් තොරව තොගය අලෙවිය හෝ භාවිතය සඳහා අනුමැතිය දෙනු ලැබේ. අහඹු පිරික්සුම සඳහා තොග තුනකට එක් වරක් ලෙස නියැදි ලබා ගැනෙන අතර, නියැදීමෙන් අනතුරුව තොගයට අනුමැතිය ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත්, නිෂ්පාදකගේ හා ආනයනකරුගේ අතීත කාර්යසාධනය මත පදනම්ව ශ්‍රී.ලං.ප්‍ර.ආ. නියැදීම් වාර ගණන තීරණය කරනු ඇත.

3 වැනි කාණ්ඩය: ශ්‍රී.ලං.ප්‍ර.ආ. සමග ලියාපදිංචි වී ඇති නිෂ්පාදන පිරියතයකින් ආනයනය කරනු ලබන තොග නිෂ්පාදන පිරියතෙන් පැමිණෙන සෑම තොගයක් සමඟම අනුකූලතා සහතිකයක් තිබීම අවශ්‍ය වේ.

ආනයනකරුට ප්‍රතිලාභ :තොගයෙහි අනුකූලතාව තීරණය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති අනුකූලතා සහතිකය (CC) පිළිගත හැකි නම්, නියැදිමෙන් තොරව තොගය අලෙවිය හෝ භාවිතය සඳහා අනුමැතිය දෙනු ලැබේ. කෙසේ වෙතත් සෑම තොග පහකටම එක් වරක් ලෙස අහඹු පිරික්සුම සඳහා නියැදි ලබා ගැනෙන අතර නියැදීම් වාර ගණන නිෂ්පාදකයාගේ හා ආනයනකරුගේ අතීත කාර්යසාධනය මත පදනම්ව තීරණය කරනු ලැබේ.

4 වැනි වර්ගය: සහතික කිරීම සඳහා යොදා ගන්නා ලද ප්‍රමිති ඒවාට අනුරූප ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර හා සැස‍‍ඳෙන්නා වූ කවර ‍හෝ රටක ජාතික ප්‍රමිති ආයතනයෙහි “නිෂ්පාදන සහතික කිරීමේ සලකුණ” සහිත නිෂ්පාදන තොග. එබඳු නිෂ්පාදකයන් අදාල නිෂ්පාදන සඳහා ශ්‍රී.ලං.ප්‍ර.ආ. සමග ලියාපදිංචි විය යුතු වේ.

ආනයනකරුට ප්‍රතිලාභ :

(අ) නිෂ්පාදනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි නිෂ්පාදන සහතික කිරීමේ ලකුණ (SLS ලකුණ) දරයි නම්, නියැදීමෙන් තොරව තොගය අලෙවිය හෝ භාවිතය සඳහා නිදහස් කරනු ලැබේ. තොග අටකට එක් වරක් ලෙස අහඹු පිරික්සුම සඳහා නියැදි ලබා ගැනෙන අතර නියැදීමෙන් අනතුරුව තොගය අනුමත කරනු ලැබේ. කෙසේ වෙතත් නිෂ්පාදකගේ හා ආනයනකරුගේ අතීත කාර්ය සාධනය මත පදනම්ව ශ්‍රී.ලං.ප්‍ර.ආ. නියැදීම් වාර ගණන තීරණය කරනු ඇත.

(ආ) නිෂ්පාදිතය වෙනත් රටවලින් නිකුත් කරන ලද පිළිගත හැකි සහතික කිරීමේ ලකුණු දරයි නම් නියැදීමකින් තොරව තොගය අලෙවිය හෝ භාවිතය සඳහා අනුමැතිය ලබා දෙනු ඇත. තොග පහකින් එක් වරක් ලෙස අහඹු පිරික්සුම සඳහා නියැදි ලබා ගැනෙන අතර නියැදීමෙන් පසුව තොගයට අනුමැතිය ලබා දෙනු ඇත. කෙසේ වෙතත්, නිෂ්පාදකයාගේ හා ආනයනකරුගේ අතීත කාර්යසාධනය මත පදනම්ව, ශ්‍රී.ලං.ප්‍ර.ආ. නියැදීම් කළ යුතු වාර ගණන තීරණය කරනු ඇත.

5 වැනි වර්ගය: ඉහත සඳහන් වර්ග කිසිවකටත් අයත් නොවන තොග

1.1.2 නිශ්චය කරන ලද භාණ්ඩ ආනයනය කිරීම හා සම්බන්ධ ගිවිසුම්, අදාල ශ්‍රී ලංකා ප්‍රමිතීන්ට එම තොග අනුකූලවීම සහතික කිරීම සඳහා 1.1.1 වගන්තියෙහි දක්වා ඇති පරිදි වර්ග 1 සිට 4 යටතට එන පූර්ව අපනයන අනුකූලතා සහතිකයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව දක්වයි. සවිස්තරාත්මක පිරික්සුම් ප්‍රතිඵල ද ඉදිරිපත් කළ යුතු වේ.

1.1.3. නිශ්චය කරන ලද කවර හෝ භාණ්ඩ ආනයනය  කිරීමට අපේක්ෂා කරන ආනයනකරුවෙකු, ණයවර ලිපි තහවුරු කිරීමට පෙර ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත පර්ෆෝමාවක් (Performa)හා පරීක්ෂණ වාර්තාවක් (ආනයනය කිරීමට අපේක්ෂිත භාණ්ඩවලට අදාල) ඉදිරිපත් කර එබඳු භාණ්ඩ ආනයන කාර්යය සඳහා පිළිගත හැකිද යන්න පිළිබඳ තහවුරු කරගැනීමක් ආයතනයෙන් ලබා ගත යුතු වේ.1.1.2 වගන්තියෙහි දක්වා ඇති පරිදි එම ආනයනය කෙරන නිශ්චිත කාණ්ඩය/කාණ්ඩ වලට අදාල පූර්ව - අපනයනය අනුකූලතා සහතිකය ඉදිරිපත් කිරීමේ වගකීමෙන් ආනයනකරුව නිදහස් නොකරයි.

1.1.4 1.1.1 වගන්තිය පරිදි 5 වැනි වර්ගය යටතට ගැනෙන නිශ්චය කරන ලද භාණ්ඩ කවර හෝ ආනයනය කරන ලද තොගයක් වරායේදී නියැදීමට ලක් කෙරෙන අතර කෙසේ වෙතත්, නිෂ්කාශනය ලබා ගැනෙන තුරු එම භාණ්ඩ රේගුවේ භාරයේ ඇති ගබඩාවකට නිදහස් කිරීම ශ්‍රී.ලං.ප්‍ර.ආ. සලකා බැලිය හැකිය. වරාය පරිශ්‍රය තුළ නියැදීම අසීරු නම් හෝ කෙටි කාලසීමාවක් තුළ පරික්ෂණ ප්‍රතිඵල ලබාගත නොහැකි නම්, පෞද්ගලික ඇප ලිපියක් හා ආනයනකරුගේ මෙන්ම නිෂ්පාදකයාගේ  පෙර කාර්යසාධනය මත පදනමම්ව තොගය ආනයනකරුගේ ගබඩාව වෙත නිදහස් කිරීමට හැකියාව ඇත.

1.1.5 ප්‍රමාදයන් වළක්වා ගැනීම පිණිස, වරාය පරිශ්‍රයේදී නියැදි ලබාගැනීමට අසීරු ආකාරයේ භාණ්ඩ තොග හෝ කෙටිකාලයකදී පරීක්ෂණ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි ආකාරයේ භාන්ඩ තොග සමග වර්ග 1, 2 ‍හෝ 3 හි නිශ්චිතව දක්වා ඇති පරිදි පිළිගත හැකි තත්ත්ව සහතිකයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

1.1.6 කෙසේ වෙතත් මෙම කවර ‍හෝ තොගවලින් අහඹු පදනමින් නියැදි ලබා ගැනීමට හෝ තොගයේ ගුණාත්මක  තත්ත්වය සම්බන්ධ සාධාරණ සැකයක් පවතී නම් ඒවායේ නියැදි ලබාගෙන පරීක්ෂණයට භාජනය කිරීමේ බලය ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත රඳවා ගනු ලැබේ. අසතුටුදායක බව හෙළි වන එවැනි තොග නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී.ලං.ප්‍ර.ආ. හැකියාව ඇත.

2. සැපයෙන සේවාවන් වර්ග

අපගේ වටිනා පාරිභෝගිකයන් වෙත සේවාවන් වර්ග දෙකක්,  එනම්, “කඩිනම් සේවය” හා “සාමාන්‍ය සේවය” සපයනු ලැබේ. අවශ්‍ය සේවාව තෝරාගැනීමේ නිදහස ආනයනකරුට ඇත.

2.1කඩිනම් සේවය

තොගයක් සඳහා කඩිනම් දැනුම්දීමේ ක්‍රියාවලියක් ආනයනකරුවන්ට අවශ්‍ය නම්, විශේෂ කවුන්ටරයේදී දැනුම්දීම ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට ඒ බව සඳහන් කළ හැකි අතර එවන් දැනුම්දීම් වලට ඉතා ඉහළ ප්‍රමුඛතාව ලබා දී පරීක්ෂණ සඳහා යන අවම කාලචක්‍රය මත පදනම්ව හැකිතාක් ඉක්මනින් අවසන් තීරණ ලබා දෙනු ලැබේ. කඩිනම් සේවය නිසා දැරීමට සිදුවන අතිරේක පිරිවැය ආනයනකරුගෙන් අය කරගනු ලැබේ.

2.2 සාමාන්‍ය සේවය

ආනයනකරුට සාමාන්‍ය මාර්ගය හරහා දැනුම්දීම් ක්‍රියාවලිය සිදුවීම අවශ්‍ය නම් සාමාන්‍ය සේවය භාවිතා කළ හැකිය. ආනයනකරුට ක්‍රියාවලිය කඩිනම් කර ගැනීමට අවශ්‍ය වුවහොත් ඉල්ලීමක් සමග අමතර ගෙවීමක් කිරීමෙන්  කඩිනම් සේවයට පරිවර්තනය  කර ගත හැකි වේ.

3. දැනුම්දීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාපටිපාටිය

3.1ආනයනකරුවෙකු ‍තොගය පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් කාලරාමුවක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වැඩ කරන භාෂාවෙන් (ඉංග්‍රිසියෙන්) නිසි ලෙස සම්පූර්ණ කරන දැනුම්දීමේ ආකෘතිපත්‍ර පිටපත් තුනකින් හා පහත සඳහන් සහාය ලිපි ලේඛන ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත භාර දිය යුතු වේ.

3.2

(අ) වාණිජ ඉන්වොයිසියෙහි පිටපතක්

(ආ) තොගයට අඩංගු කාණ්ඩ හා එක් එක් කාණ්ඩයෙහි ප්‍රමාණය දක්වන ඇසුරුම් ලැයිස්තු පිටපතක්

(ඇ) නෞභාර ලිපියෙහි පිටපතක්

(ඈ) රේගු ප්‍රවේශ  අංකය සහිත රේගු ප්‍රකාශනයෙහි පිටපතක්
දැනුම්දීම ඉදිරිපත් කරන අවස්ථාවේදී ආනයනකරුට රේගු ප්‍රවේශ අංකය ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයකදී, බැංකු මුද්‍රා තැබූ ඉන්වොයිසිය ඉදිරිපත් කළ යුතු වේ.

(ඉ) පිළිගත හැකි අනුකූලතා සහතික කිසිවක් වේ නම් එම සහතික. තොගයට විවිධ ආකාරයට සැලසුම් කරන ලද කාණ්ඩ ගණනාවක් අඩංගු වේ නම් එක් එක් කාණ්ඩය හා සැලසුම සඳහා තත්ත්ව සහතික ඉදිරිපත් කළ යුතු වේ.

3.2 විවිධ ප්‍රමිතීන්ගෙන් ආවරණය වන එක් එක් භාණ්ඩය හා එක් එක් ඉන්වොයිසිය සඳහා වෙන වෙනම දැනුම්දීම් ඉදිරිපත් කළ යුතුය.

3.3 අදාල ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතර වලට තොගයෙහි අනුකූලතාව දැක්වීම පිණිස 1.1.2 වගන්තියෙහි දක්වා ඇති පරිදි  දැනුම්දීමේ ආකෘතිපත සමග අනුකූලතා සහතිකයෙහි (CC) පිටපතක්ද ඉදිරිපත් කළ යුතුය.  තොගය සඳහා පිළිගත හැකි අනුකූලතා සහතිකයක් තිබේ නම් සහතික කිරීමේ නියෝජිත ආයතනය විසින් පූර්ව අපනයන අනුකූලතා සහතිකයෙහි මුල් පිටපත නොපමාව ශ්‍රී.ලං.ප්‍ර.අ. හි අධ්‍යක්ෂ ජනරාල් වෙත යැවිය යුතුය. සැකසීම කඩිනම් කිරීම සඳහා මුල් පිටපතට පූර්ව පිටපතක් නොපමාව ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත ෆැක්ස් කළ හැකිය. (ෆැක්ස් අංක : 0094-11-2671579/ 0094-11-5354320) පූර්ව - අපනයන අනුකූලතා සහතිකය ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත ෆැක්ස් කෙරෙන අවස්ථාවන්හිදී එයට පසුව සහතිකයෙහි  මුල් පිටපත ඉදිරිපත් කිරීම කළ යුතු වේ.

3.4 දැනුම්දීමේ ආකෘතිපත්‍රය ලැබුණු විට, තොගය පරීක්ෂා කිරීමට හෝ නියැදීම් හා පරීක්ෂණ ‍වලට භාජනය කළ යුතුද යන්න ශ්‍රී.ලං.ප්‍ර.ආ. තීරණය කරනු ඇත. ආයතනය නියැදීමට තීරණය කළහොත්, පරීක්ෂා කිරීම හා නියැදීමට ආරම්භ කිරීමට පෙර එයට අදාල පිරිවැය ආනයනකරු විසින්  ගෙවිය යුතු වේ

3.5ආනයන කරන ලද  තොග / ය සඳහා  නිෂ්කාශනය ලබා ගැනීමට ආනයනකරුවෙකු විසින් ඉදිරිපත් කෙරෙන දැනුම්දීමක්, කවර කාර්යයක් සඳහා ‍හෝ තත්ත්ව සහතිකයක් ලෙස සැලකිය නොහැකි වේ. යම් ආනයනකරුවෙකු හෝ අන් කවර හෝ පාර්ශ්වයක් එම දැනුම්දීම ආනයනික නිෂ්පාදනය අලෙවි කිරීම සඳහා  සහතිකපතක් ලෙස භාවිතා නොකළ යුතුය.

4 නියැදීම

4.1 නියැදීම සිදු කළ යුතු නම්, අදාල නියැදීම් ක්‍රියා පටිපාටියට අනුකූලව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙහි නිලධාරියා / නිලධාරීන් විසින් නියැදීම සිදු කරනු ලැබේ.

4.2 SLS 428 හි නිශ්චය කර ඇති අහඹු සංඛ්‍යා වගු භාවිතා කරමින් තෝරා ගැනීම අහඹු ලෙස සිදු කෙරේ.

4.3 පරීක්ෂා කිරීම හා නියැදීම සඳහා අවශ්‍ය පහසුකම් ආනයනකරු විසින් සැපයිය යුතු වේ. (උදා :  අවශ්‍ය ශ්‍රමය, අවශ්‍ය නම් නියැදීම් මෙවලම් ආදිය) නියැදීම් හා පරික්ෂණ කිරීමේ පිරිවැය ආනයනකරු විසින් දැරිය යුතු වේ.

4.4වේලාව හා ස්ථානයද සමග පරීක්ෂා කිරීමේ දිනය ආනයනකරු විසින් ශ්‍රී.ලං.ප්‍ර.ආ. වෙත දැනුම්දිය යුතුය.

4.5ලබා ගන්නා ලද නියැදි හඳුනාගත් මූලික හා / හෝ සවිස්තරාත්මක පරීක්ෂණවලට භාජනය කරනු ලැබේ.

4.6 ශ්‍රි.ලං.ප්‍ර.ආ. විසින් හඳුනාගන්නා ලද තීරණාත්මක අවශ්‍යතාවන්ට එම තොගය අනුකූල වේ නම් දැනුම්දීමේ ආකෘති පතට මුද්‍රා තබා අනුමැතිය ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත් යම් වෙළඳ නාමයක් හෝ නිෂ්පාදනයක් සඳහා යම් නිෂ්පාදකයෙකුගේ පළමුවන තොගය සම්බන්ධයෙන්, කාණ්ඩය අනුකූලතාව තක්සේරු කිරීමට නිදහස් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සවිස්තරාත්මක පරීක්ෂණ සිදු කරනු ඇත. සවිස්තරාත්මක පරීක්ෂණ මගින් අනුකූල නොවන බව පෙන්නුම් වුවහොත් ආනයනකරු ඒ බව දැනුම්දීම සිදු කෙරෙන අතර එම නිෂ්පාදකයාගේම ඉදිරි තොග සවිස්තරාත්මක පරීක්ෂණවලට භාජනය කරනු ලැබේ. ශ්‍රී.ලං.ප්‍ර.ආ. තත්ත්වය පිළිබඳව සෑහීමකට පත්වන තුරුම මෙම ක්‍රියාදාමය අනුගමනය කෙරෙනු ඇත.

4.7පරීක්ෂා කරන ලද නියැදිය තීරණාත්මක අවශ්‍යතාවන්ට අනුව නිසි ප්‍රමිතියට නොමැති බව හෙළිවුවහොත් තොගය අපනයනකරු වෙත ආපසු යවන ලෙස ආනයනකරුට උපදෙස් දෙනු ලැබේ.

4.81987 අංක 28 දරන පනතින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ පනවන ලද රෙගුලාසි වලට අනුව වන අදාල ප්‍රමිතියට අනුකූල නොවන යම් භාණ්ඩ කවර ‍හෝ ආනයනකරුවෙකු විසින් ආනයනය කර ඇති බව ආනයන හා අපනයන පාලකට හෙළි වූ අවස්ථාවක, ජාතික ආර්ථිකයෙහි යහපත හා පාරිභෝගිකයාගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් එවැනි ආනයනකරුවෙකුගේ අනන්‍යතාව සහතික කරගැනීමට අවශ්‍ය නම, ලිපිනය හා අනෙකුත් අදාල විස්තර ලැයිස්තුවක් නිශ්චය ලෙස දක්වමින් පාලක විසින් ගැසට් පත්‍රයෙහි නිවේදනයක් පළ කළ යුතු වේ.

5. අභියාචනා

5.1ආනයනකරුවෙකු තක්සේරුව පිළිබඳව සෑහීමකට පත් නොවේ නම්, දැනුම්දීම ලැබී වැඩ කරන දින 3 ක කාලයක් ඇතුළතදී නැවත පරීක්ෂාව හා / හෝ යළි නියැදීම සඳහා ශ්‍රී.ලං.ප්‍ර.ආ. හි අධ්‍යක්ෂ ජනරාල් වෙත අභියාචනයක් ඉදිරිපත් කළ හැකි අතර එවැනි අවස්ථාවක ශ්‍රී.ලං.ප්‍ර.ආ. මගින් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන අතර එහි තීරණය අවසන් තීරණය වේ. නියැදිය ඉතා අසතුටුදායක ‍මට්ටමින් ප්‍රමිතියෙන් බාල වේ නම් ශ්‍රී.ලං.ප්‍ර. ආයතනයට අභියාචනය ප්‍රතික්ෂේප කිරීමට හැකියාව ඇත.

6. ගාස්තු ව්‍යුහය: (link to a file)

 

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම තේ නිෂ්පාදිත සහතික කිරිමේ යෝජනා ක්‍රම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රි ලංකා තේ මණ්ඩලය හා එක්ව නිෂ්පාදන ක්‍රියාවලිය හා අවසාන නිෂ්පාදිතය,ප උදා: කළු තේ සහතික කිරීම පිණිස නිෂ්පාදිත සහ... Read more
16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂික ජාතික තත්ත්ව සම්මාන උළෙල 16 වැනි වාර්ෂිත ජාතික තත්ත්ව සම්මාන උළෙල 2011 ජුනි මස 07 වැනි දින බ.ජා.ස.ශා දී ( BMICH)පවත්වන ලදි. ප්‍රධාන අමුත්තා වූයේ තාක්ෂණ හා පර්යේෂණ ගර... Read more
Alumni Association of SLSI This content is only available in EnglishINVITATION FOR SRI LANKA STANDARDS INSTITUTION ALUMNI ASSOCIATION We are pleased to inform you tha... Read more

© ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. සියලු හිමිකම් ඇවිරිණි
17 වික්ටෝරියා ස්ථානය, ඇල්විටිගල මාවත, කොළඹ 08.

නිමැවුම සහ සම්බන්ධීකරණය